පැමිණිල්ල විභාගයට ඇවිත් පොලිසියේ දී වලියක් දාගෙන


(ඉන්දිකා රාමනායක, ඩී ජී සුගතපාල, සහ සුමතිපාල දීයගහගේ)

පැමිණිල්ලක් විභාග කරන අතරතුර අහංගම පොලිස් ස්ථානය තුළ මහජනය අපහසුතාවට පත්වන අයුරින් කළහාකාරි ලෙස හැසිරී, දබර කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරියක්, ඇගේ සැමියා හා සැමියාගේ නැගණිය අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් පොලිස් කොස්තාපල්වරිය අහංගම කහටගහවත්ත ප්‍රදේශයේ පදිංචි හම්බන්තොට වරාය පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිට ඇති අතර, පවුල් ආරවුලක් සම්බන්ධයෙන් සැමියාට හා සැමියාගේ නැගණියට එරෙහිව ඇය අහංගම පොලිසියට කර තිබු පැමිණිල්ලක ඊයේ 10 දින විභාගයට ගෙන ඇති බව පොලිසිය කියයි.

විවිධ පැමිණිලි අංශය  දෙපාර්ශවය පොලිසියට කැඳවා මෙම පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේ එහි පැමිණ සිටි මහජනයා ඉදිරියේ දෙපිරිස බහින් බස් වී මහජනයාට අප්‍රසන්නතාවයක් ඇති වන අයුරින් හා මහජන සාමය කඩවන අයුරින් කළහාකාරි ලෙස හැසිරීම නිසා පොලිස් කොස්තාපල්වරිය, ඇගේ සැමියා හා සැමියාගේ සහෝදරිය අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය තුළ පැමිණ සිටි මහජනයාට අප්‍රසන්නතාවයක් ඇති වන අයුරින් ඔවුන් ඉදිරියේ කළහාකාරි ලෙස හැසිරුන කොස්තාපල්වරියගේ හැසිරීම සම්බන්ධයෙන් ඇය ට එරෙහිව විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.